Forget me not - මා අමතක කරන්න එපා

Nov 6, 2023 - 18:12
Nov 6, 2023 - 18:15
 0  155
Forget me not - මා අමතක කරන්න එපා

මේ තමයි ලංකාවක් වශී කරපු මැජික් පොත. පොත් නොකියවන අය පවා කියෙව්ව පොත. 2023 වසරේ වැඩියෙන්ම අලෙවි වූ පොත. 

පොත කියවද්දී දාහකුත් එකක් සිතිවිලි මගේ හිතේ සක්මන් කළා. ඒත් අකුරු කරලා ලියන්න යද්දි මම ගොළු වුණා. පොත පුරාවට ගෙත්තම් කරල තියෙන්නේ වචන නෙමෙයි, හැඟීම්! හැඟීම් ආකරයක්!

චරිතා! චතුරි! හැඟීම් වචන කරන එක හැමෝටම කරන්න අමාරුයි. ඇරත් මේ තරම් ඉසියුම්ව කරන එක! ඔබලා එය කරන අපූරුව, ආදරණීය ලෝභකමක් දැනෙනෙවා ඒ වචනවලට. 

මේ හැඟීම යාය පුරාවට සක්මන් කරන්න ඕනේ නැවති නැවති, හෙමි හෙමීට. අංශු මාත්‍රික හැඟීමක් පවා හෙමින් රසවිඳින ගමන්. මූදු සුළං හමන සන්සෙට් එක පුරාවටත්, නෙක මලින් බර කොනිෆර් තුරු ලතා පිරි කඳුකරය අතරත්, සෘතූන් හතරක් පුරාවට අපිව සැරිසරවා, අවසන කිසිදා අසා නැති අපූරු පස්වන සෘතුවක අප හදවත් නතර කළ ඕල්යා සහ යුමි සංගේ පුරාවෘත්තයේ තැනින් තැන මගේ ආත්මීය කොටස් ද වැටී තිබුණා. ඔබටත් එය එසේම දැනෙන බව විශ්වාසයි. 

කතාව කියවපු ඈයෝ එයාලට දැනිච්ච කෑලි තැනින් තැනින් අල්ලගෙන තිබුණා. තනිකම, මානසික වේදනාවන්, සොබාදහම….නමුත් මේ හැම හැඟීමක්ම මිත්‍රත්වයෙන් ආත්මගත කරනවා. තප්පර තුනෙන් බැඳෙන ආදරේදිත්, මිලි තප්පරයෙන් බිඳෙන හදවත් වේදනාවේදිත් අත් නොහැර හිත් හදන 'මිත්‍රත්වය'! 

පොත පුරා ගලා හැලුනු රුසියානුමය ආර ශ්‍රී ලාංකික සාහිත්‍යමය පහසකින් රස ගන්වලා. ඒක අරුමැති ඇති වැඩක්! ඒ බොහෝ ගැලපුම් ලස්සනට පෑහුණ නමුත් ඇතැම් ගැලපුම් රුසියානුමය ගලා යාමෙන් අපේ හිත් මොහොතකට ගලවා දැමුවා වගේ හැඟුණා. ඒ ගැන එතරම් වද නොවිය යුතුයි.

පොතේ ආකෘතිය! එය අපූරුයි. ඕල්යා සහ යුමි සං අතර හුවමාරුවන ආදරණීය ලියුම් කඩදහි! ඒවා හරියට අපිට ලැබුණා වගේ දැනෙන්නේ. සෘතූන් පහකට කතාව බෙදලා, සෘතු මාරු වෙද්දි ජීවිතත් වෙනස් වෙනවා. ඒ අතරමැද්දෙන් අතරමැදියන් හතර දෙනෙකුගේ කතාවන්. හරිම සුන්දරයි! ඇතුළත ඇති දෑ මා කියන්න යන්නේ නෑ. මගේ වචනවලින් ඒ හැඟීම් තවත් ඔප දැමීම කළ නොහැක්කක්. ඔබ එය කියවන්න. මියෙන්නට පෙර එක වතාවක්!

ප.ලි.

මට හැඟෙන විදිහට මේ පොත ආත්මීයව දැනෙන විශේෂ පාඨක පිරිසක් ඉන්නවා. සියුම් දේ පවා විශාලව හිතන, වහා බිඳෙනසුළු, හෘදය සංවේදීත්වය වැඩි, සියුමැලි හිත් සහිත මිනිසුන්. බැරෑරුම් කල්පනා සහිත, සංකීර්ණය ජීවන දෘෂ්ටීන්වලින් හෙබි හදවත් මේ පොතේ පිටු අතර දිය නොවන්නට පුළුවන්. ඊට කම් නෑ. රුචිකම් විවිධයි. ලෝකය රසවත් වන්නේ ඒ විවිධත්වයෙන්. ඒ විවිධත්වයට ගරු කරන්න. එපමණයි!

උපේක්ෂා

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow

jayampathi My name is Jayampathi Bandara. I'm Owner of Zone.lk. I'm a Professional Digital Marketer. I love Music, Movies, Travelling and Fitness.