දීපාවලි හැඩ කරන කෝළම් රටා

Nov 12, 2023 - 08:45
 0  56
දීපාවලි හැඩ කරන කෝළම් රටා

අද නොවැම්බර් 12 වෙනිදා, හින්දු බැතිමතුන්ට ගොඩක් වැදගත් අවසක්. මොකද අද ලෝකයේ සෑම හින්දු බැතිමතෙක්ම දීපාවලි දිනය සමරනවා. නපුරේ අඳුර පලවා හැර යහපතේ ආලෝකය උදාවන දිනය විදිහට හින්දූන් විසින්  හඳුන්වන 'දිවාලි', එහෙම නැත්නම් 'දීපාවලි' කියන්නේ හින්දු භක්තිකයන් හරි ඉහළින් සමරන ඉන්දියානු උත්සවයක්. 

හැමෝම දීපාවලි උත්සවය ගැන කතා කරාට, දීපාවලිය විතරක් නෙමෙයි, හින්දු භක්තිකයන්ගේ බොහෝ උත්සව අවස්ථාවන් හැඩ කරන කෝළම් රටා ගැන ගොඩක් අය දැනුවත් නෑනේ. ඒ නිසා අපි අද ඒ ගැන කතා කරන්න හිතුවා. 

හින්දු සංස්කෘතිය තුළ කෝළම් රටා කියන්නේ ඉතා ප්‍රසිද්ධ සියුම් නිර්මාණ විශේෂයක්. ඒවායේ විචිත්‍රවත් බවට වශී වුණාට කෝළම් රටා ඇඳීමේ හැබෑ තේරුම ගොඩක් දෙනා දන්නේ නෑ. 

කෝළම් රටා ඇඳීම චාරිත්‍රයක්. හරිම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. දීපාවලි දවසට හිරුටත් කළින් අවදිවෙන හින්දු කාන්තාවන් උදෑසන මිදුල අතුගාලා, ගොම වතුරෙන් සේදු තමන්ගේ ගෙමිදුලෙහි කෝලම් රටා මවනවා. මේවා ඇඳීමෙන් කරන්නේ දෙවියන්ට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කිරීම. එයින් පවුලට සෞභාග්‍යය, වාසනාව උදාවන බවයි එයාලා විශ්වාස කරන්නේ.

ජාමිතික හැඩතලවල ඉඳන් ඉතා සංකීර්ණ මෝස්තර දක්වා කෝළම් රටා අඳිනවා. ඉස්සර කාන්තාවන් නම් කටු සටහන්වලින් තොරව මනසේ රූපය ඇඳගෙනයි මේවා ගෙත්තම් කළේ.

කෝළම් රටා අඳින්න භාවිතා කරන්නේ හාල්, හාල් පිටි, මල් පෙති, නැතිනම් පොල් කුඩු. මල් පෙතිවලින් සුවඳ එක් කරනවා. නමුත් හාල් තමයි මේකට හරියටම භාවිතා කරන්න ඕනේ. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද කුරුල්ලන්, කූඹින් වගේ පුංචි සතුන්ට ආහාරයක් වෙන්නත් එක්කයි මේ කෝලම් රටා අඳින්නේ.

ඉතින් මෙච්චර කල් කෝළම් රටා දිහා ආසාවෙන් බලාගෙන හිටියට මේ වැදගත් විස්තර ටික ඔයා දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් මේ වටිනා කියන විස්තරත් දැනගෙනම දීපාවලිය සාමයෙන් සමරමු!

උපේක්ෂා රත්නායක

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow

upeksha මම උපේක්ෂා රත්නායක. කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිනමාව හා රූපවාහිනී විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරලා, දැනට වෙළඳ දැන්වීම් ආයතනයක සේවය කරනවා. කියවීම, ලිවීම තමයි මගේ විනෝදේ. චිත්‍රපට බලන්න, ඒවා විචාරය කරන්නත් ගොඩක් ආසයි. මාත් එක්ක එකතුවෙලා ජීවිතේ කියවන්න, හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා.